January 29, 2026
•
Sihini Maleena
කොළඹ බඹරු
කොළඹ අහස කියන්නේ හැමදාම අලුත් බොරුවක් අරගෙන එන මැජික්කාරයෙක්ට. අද ඌ ඇඳගෙන හිටියේ අළු පාට සළුවක්. ඒ සළුව අස්සෙන් රූරා වැටෙන කඳුළු බිංදු, වේගයෙන් දුවන බස් රථයේ වීදුරුව මත සිත්තම් ඇන්දේ හරියට "මට ගෙදර යන්න ඕනේ" කියලා ලියන්න උත්සාහ කරන ගොළු දරුවෙක් වගේ.
මන්දාකිනි, වීදුරුවට නළල තද කරගෙන හිටියා. වීදුරුවේ සීතල ඇගේ නළලට දැනුනට, ඇගේ පපුව ඇතුලේ තිබුනේ ගිනි ගොඩක්.
ඇගේ හෑන්ඩ් බෑග් එකේ රහස් සාක්කුවේ, දම් පාට සහ නිල් පාට කඩදාසි කුරුල්ලෝ රෑනක් හිර වෙලා හුස්ම ගන්න දඟලනවා. උන්ගේ අත්තටු වල ගෑවිලා තියෙන්නේ නාඳුනන පිරිමින්ගේ දාඩිය ගඳ සහ මිල අධික සැර මත්පැන් ගඳ. කොළඹදී මේ කුරුල්ලන්ට කියන්නේ "මොණරු" කියලා. හැබැයි මේ මොණරු පිල විහිදුවන්නේ ලස්සනට නෙවෙයි; උන් පිල විහිදුවන්නේ ගිලින්න බලාගෙන ඉන්න පිපාසිතයෝ ඉස්සරහා විතරයි.
"නංගී... තව ටිකකින් ගලපිටමඩ..." කොන්දොස්තරගේ කටහඬ ඇහුණේ හීනයකින් වගේ.
මන්දාකිනි ගැස්සිලා ඇහැරුණා. ඇය බස් එකෙන් බැස්සේ හරියට වෙනත් ග්‍රහලෝකයක ඉඳන් පොළවට ආපු පිටසක්වල ජීවියෙක් වගේ. ගමේ හුළඟ හරිම අහිංසකයි. ඒකේ තිබුණේ වේලිච්ච ගොම මැටි සුවඳයි, ඉදුණු වී කරල් සුවඳයි. ඒ සුවඳ මන්දාකිනිගේ නහයේ වැදෙද්දී ඇයට ඕන වුණා ඇගේ හුස්ම ටික වෙලාවකට නතර කරගන්න. මොකද ඇගේ ඇඟ ඇතුලේ තියන "කොළඹ විෂ" මේ පිරිසිදු හුළඟත් එක්ක මුසු වෙයි කියලා ඇය බය වුණා.
ඇය ගෙදරට යන ගුරු පාර දිගේ ඇවිදගෙන ගියේ හිමින්. අහස කළු කරගෙන එනවා. අකල් වැස්සක්.
ඈතින් පෙනෙන මැටි ගෙදර, ගරා වැටුණු බිත්තියක් අයිනේ ඇගේ අම්මා බලාගෙන ඉන්නවා. අම්මාගේ ඇස් පේන්නේ නෑ. ඒත් අම්මාට පුළුවන් හුළඟේ රිද්මයෙන් දුව එන බව අඳුරගන්න.
"පුතේ...?" අම්මාගේ කටහඬ වෙව්ලනවා.
මන්දාකිනි දුවගෙන ගිහින් අම්මාගේ දෙපා මුල දණ ගැහුවා. ඇය අම්මාගේ රැලි වැටුණු අත් දෙක තමන්ගේ මූණේ තියා ගත්තා.
"අම්මේ... මම ආවා."
"මගේ කෙල්ලට කොළඹ සුවඳයි..." අම්මා මන්දාකිනිගේ හිස අතගෑවා. "මම හිතුවේ නෑ උඹ අද එයි කියලා. ගමේ හැමෝම කිව්වේ උඹ දැන් ලොකු නෝනා කෙනෙක් වෙලා ඇති, අපිව අමතක වෙලා ඇති කියලා."
මන්දාකිනිගේ උගුරේ අලුත් කටුක රහක් ඉපදුනා.
"නෑ අම්මේ... ලොකු නෝනා කෙනෙක් නෙවෙයි. මම තාම මැෂින් එක පාගනවා."
ඇය බොරු කිව්වා. ඇත්තටම ඇය මැෂින් එකක් පෑගුවේ නෑ. ඇය කලේ කොළඹ නමැති යෝධ මැෂිමට ඇගේ ජීවිතය පාගන්න ඉඩ දීපු එක.
මන්දාකිනි බෑග් එක ඇරියා. අර දම් පාට, නිල් පාට මොණරු රෑන එළියට ගත්තා. උන්ව අම්මාගේ අතට දෙන්න ඇය දෙපාරක් හිතුවා. මේ කොළ කෑලිවල තියෙන්නේ සාපයක්.
"අම්මේ... මේ දානයට ඕන බඩු ගන්න. මේ මල්ලිගේ ක්ලාස් ෆීස් එක. මේ බෙහෙත් වලට."
අම්මා ඒ සල්ලි මිටිය අතින් අතගෑවා. ඇස් පෙනුනේ නැති වුනාට අම්මා දැනගෙන හිටියා මේ කොළ කෑලිවල බර.
"පුතේ..." අම්මා එකපාරටම අමුතු ප්‍රශ්නයක් ඇහුවා. "මේ සල්ලි වල තියෙන්නේ දාඩිය සුවඳද... නැත්නම් කඳුළු සුවඳද?"
මන්දාකිනි ගල් ගැහුණා.
"ඒ මහන්සියේ සුවඳ අම්මේ." ඇය අමාරුවෙන් වචන ගැලපුවා.
"මහන්සිය..." අම්මා හෙමින් මුමුණලා, ඒ සල්ලි කොට්ටේ යටින් තිබ්බා. "මහන්සිය හොඳයි. හැබැයි පුතේ, ගින්දරෙන් උපදින දේවල් වලට ආයුෂ අඩුයි."
ඒ වෙලාවේ එළියේ අකුණු පාරක් ගැහුවා. මහා වැස්ස කඩාගෙන වැටුනා. වහලෙන් වතුර බිංදු වැටෙන්නේ හරියට පරණ තුවාලයක් පෑරෙනවා වගේ.
පහුවදා උදේ ගමම ලෑස්ති වුණේ ගලේ පන්සලේ කඨින පින්කමට. මන්දාකිනි සුදු පාට ළමා සාරියක් ඇන්දා. ඇය කොණ්ඩේ ගෙතුවේ තෙල් ගාලා, හරියට "පත්තිනි අම්මා" වගේ. කණ්නාඩිය ඉස්සරහට ගියහම ඇයට ඇයවම අඳුරගන්න බැරි වුණා.
"මේ ඉන්නේ මමද? නැත්නම් මේ මම දාගත්ත වෙස් මූණද?"
කණ්නාඩියෙන් පෙනුනේ අහිංසක උපාසකම්මාවක්. හැබැයි ඒ සුදු රෙද්දට යටින් තිබුණේ තුවාල වෙච්ච, පිරිමි දහස් ගණනකගේ බැල්මෙන් පළුදු වෙච්ච ආත්මයක්.
ඇය මල් වට්ටියකුත් අරගෙන පන්සලට ගියා.
ගලේ පන්සලේ මළුව සුදු පාටින් බබළනවා. ගමේ උපාසකම්මලා, සිල්වත්තු, ළමයි හැමෝම ඉන්නවා. මන්දාකිනි බෝ මළුවට ගොඩ වුණේ බයෙන්. ඇයට දැනුනේ ඇය පූජාසනය අපවිත්‍ර කරනවා වගේ.
ඇය රිදී වැට ළඟ දණ ගහලා මල් පූජා කරද්දී, ඇගේ වම් පැත්තෙන් හුරු පුරුදු සුවඳක් ආවා.
ඒ මිල අධික විලවුන් සුවඳක්.
ඇය ගැස්සිලා බැලුවා.
එතන, බෝ ගහට හේත්තු වෙලා හිටියේ පිරිමියෙක්. ඔහු ඇඳගෙන හිටියේ නගරයේ ඇඳුම්. ඇස් වලට කළු කණ්නාඩි දාලා. ඔහු මන්දාකිනි දිහා බලලා හිනා වුණා.
ඒ හිනාව... දෙවියනේ, ඒ හිනාව ඇය දන්නවා.
ගිය සතියේ සිකුරාදා රෑ, කොළඹ අඳුරු කාමරයකදී ඇය දැක්කේ මේ හිනාවමයි. මේ "කොළඹ බඹරා" අද පන්සලට ඇවිත්. ඔහු ඇවිත් ඉන්නේ මල් පූජා කරන්නද? නැත්නම් රොන් ගන්න තව මලක් හොයන්නද?
ඔහු හිමීට මන්දාකිනි ළඟට නැමුණා.
"නංගී... මෙහෙ මල් හරි ලස්සනයි නේද? කොළඹ මල් වලට වඩා සුවඳයි." ඔහු රහසින් කිව්වා.
මන්දාකිනිගේ මුළු ඇඟම හිරි වැටුණා. ඇගේ "පත්තිනි" වෙස් මූණ ගැලවිලා වැටුනා වගේ ඇයට දැනුනා. මේ පිරිසිදු බිමේදී පවා ඇයට ගැලවීමක් නෑ. ඇගේ අතීතය සෙවනැල්ලක් වගේ පස්සෙන් එනවා.
ඔහු සාක්කුවෙන් මොණරෙක් (රුපියල් දහසේ නෝට්ටුවක්) අරගෙන මල් වට්ටිය උඩින් තිබ්බා.
"මේක පින් කැටේට දාන්න. මගේ පිනට."
ඒ නෝට්ටුව දම් පාටයි. ඒක මන්දාකිනිගේ සුදු මල් වට්ටිය උඩ තිබුනේ ලේ පැල්ලමක් වගේ.
මන්දාකිනි එකපාරටම නැගිට්ටා. ඇයට හුස්ම ගන්න බැරි වුණා. ඇය මල් වට්ටිය එතනම තියලා දුවන්න පටන් ගත්තා. පන්සල් භූමියෙන් එළියට පැනලා, වෙල් යාය දිගේ ඇය දිව්වා.
මහා වැස්ස ආපහු පටන් ගත්තා.
ඇය දුවගෙන ගිහින් නතර වුණේ ගෙදර වත්තේ කෙළවරේ තිබුණ විශාල මාර ගහ යට. ඇය හති අරිමින් බිම වාඩි වුණා. වැස්ස ඇගේ සුදු සාරිය තෙත් කළා. ඇගේ ඇඟේ ගෑවිලා තිබුණ "පත්තිනි" පාට හෝදගෙන මඩ පාට වතුර පාරක් ගලාගෙන ගියා.
එකපාරටම ඇයට යමක් පෙනුනා.
ඈත වෙල මැද්දේ, වැස්සට තෙමීගෙන මොණරෙක් ඉන්නවා.
හැබැයි ඒ රූපවාහිනියේ පෙන්වන ලස්සන, පිරිපුන් මොණරෙක් නෙවෙයි. ඌ වලිගෙ කැඩිච්ච, පිහාටු හැලිච්ච, ඇඟේ මස් දියවෙලා ගිය "කැහැටු මොණරෙක්".
වැස්ස ඌට රිද්දනවා. සීතල ඌව වෙවුලවනවා. ඒත්...
පුදුමයි! ඌ නටනවා.
ඌ ඉතුරු වෙලා තියන පිහාටු ටික අමාරුවෙන් උස්සගෙන, අහස දිහා බලාගෙන නටනවා. උගේ නැටුම ලස්සන නෑ. ඒක විකාර රූපී. ඒත් ඌ නටන්නේ ජීවත් වෙන්න තියන ආසාවට. ඌ නටන්නේ තමන්ගේ පැවැත්ම සලකුණු කරන්න.
මන්දාකිනි කඳුළු පිරුණු ඇස්වලින් ඒ කැහැටු මොණරා දිහා බලාගෙන හිටියා.
ඒ ඉන්නේ ඇය නේද?
ඇයත් කොළඹ ගියේ ලස්සනට පිල විහිදන්න. ඒත් අන්තිමට ඇයට සිද්ධ වුනේ පියාපත් කඩාගෙන, පිහාටු ගලවගෙන, සීතල කාමරවල නිරුවතින් නටන්න.
ඇගේ බෑග් එකේ හිටපු දම් පාට මොණරුයි, මේ මඩේ නටන කැහැටු මොණරයි අතර වෙනසක් නෑ. දෙගොල්ලොම කරන්නේ රැවටීමක්.
"අක්කේ! අක්කේ!"
ගේ ඇතුලෙන් නංගිගේ කටහඬ ඇහුණා.
"අම්මා අහනවා අද රෑට උයන්නේ මොනවද කියලා. අක්කා ගෙනාපු සල්ලිවලින් හාල් ගේන්නද?"
මන්දාකිනි මාර ගහට හේත්තු වුණා. ඇය අහස දිහා බැලුවා. වැහි බිංදු ඇගේ මූණ හෝදනවා. නාඳුනන හුළඟක් ඇවිත් ඇගේ කම්මුලේ වැදුනේ හරියට "උඹ හරි කෙල්ලේ" කියලා කියන්න වගේ.
ඇය පන්සලේදී පැනලා ආවේ ඇයි? ඇය පව්කාරියක් නිසාද?
නැහැ.
ඇය පැනලා ආවේ ඇය දන්න නිසා. පන්සලේ බුදු රූපෙට වඩා, ගෙදර බඩගින්නේ ඉන්න අම්මාගේ කුසගින්න ඇත්ත බව. ඇය දන්නවා ඇගේ "පව්කාර" සල්ලිවලට පුළුවන් බව නංගිලාට අකුරු උගන්නන්න.
සමහර විට, බඹරු බොන්නේ මලේ රොන් විතරක් නෙවෙයි; උන් බොන්නේ මලේ ආත්මය. ඒත් රොන් නැති වුනාට මල තාම පර වෙලා නෑ.
මන්දාකිනි හෙමින් නැගිට්ටා. ඇය අර කැහැටු මොණරා දිහා ආපහු බැලුවා. ඌ තාම නටනවා. වැස්ස වැඩි වෙන තරමට උගේ නැටුම වේගවත් වෙනවා.
ඇයත් නටන්න ඕනේ. ලෝකයා මොනවා කිව්වත්, "පව්කාරිය" කියලා ලේබල් ගැහුවත්, ඇය මේ ගින්දර උඩ නටන්න ඕනේ. මොකද ඇගේ නැටුම නතර වුණොත්, ගෙදර ලිපේ ගින්දර නිවෙනවා.
ඇය තෙමුණ ඇඳුම් පිටින්ම ගේ දිහාට ඇවිදගෙන ගියා. ඇගේ හිතේ තිබුණ බර අඩුවෙලා තිබුණා.

Whispers (0)
Join the conversation
Sign in to Whisper